Monday, November 20, 2017

5. බිස්කට් ප්‍රස්නයක්....

කවිදු ගාව තියෙන්නේ රුපියල් 20 යි කිව්වාම ටිකිරිට තරහා ගියානේ. ටිකිරි කියනවා “කවිදු එහෙම හරියන්නෑ.... බැංකුවට ගිහින් හරි මට සල්ලි ගෙනත් දෙන්න...”  කියලා.  කවිදු කිව්වා “අනේ ටිකිරි මට ආයෙ බැංකුවට යන්න බෑනේ....  ඒ නිසා ඔයා අදට විතරක් සමාව දෙන්න.. අනික් දවසේ මං බිස්කට් සේරම කන්නේ නෑ” කියලා. එතකොට ටිකිරි කිව්වා “අනික් දවසේ බිස්කට් තියෙයිද දන්නෑනේ. ඒක හින්දා අද බැංකුවට ගිහින් සල්ලි ගේන්න..... “.

සල්ලි නෑ කියලා කවිදු බොරුවක් කිව්වේ. එයාගේ සල්ලි වියදම් කරන්න බැරි හින්දා බොරු වැඩවලට. ටිකිරි කවිදුගේ පර්ස් එක ඇරලා බැලුවා. බැලින්නං සල්ලි ගොඩක් තියෙනවා. පස්සේ ටිකිරි “කවිදු ඔයා මට බොරුවක් කියලා තියෙන්නේ... මේ තියෙන්නේ 100 කුයි 20 කුයි 1000 කුයි.... දැන් මගේ 100 දෙන්න” කිව්වා.  ඒ ගමන කවිදු “මෙන්න ටිකිරි 100.... ඒ වුනාට මොකටද 100 ක්? ඔයාට මං දෙන්න තියෙන්නේ බිස්කට් එකයිනේ?... ඒකට මොකටද පැකට් එකක්ම ගන්නේ?” ඇහුවා. ටිකිරි කිව්වා... “දැං ඒවා ඒවා හරියන්නෑ. බිස්කට් එක එක ගන්න බෑනේ...? පැකට් එකක්නේ ගන්න පුළුවන්.. ඔයාම ගිහින් බිස්කට් එකක් ගේන්න.... ඔයානේ බිස්කට් එක කෑවේ?” කියලා.

දැං එයාලගේ පැත්තේ කඩයක් නෑ. ඊටපස්සේ කවිදු ටක් ගාලා විනාඩියකට බයික් එකට නැගලා කඩේට ගියා. පස්සේ කවිදු බිස්කට් පැකට් එකක් අරං ගෙදර ආවා. කවිදු හොරෙන් ටොපිත් අරං ආවේ. ඊට පස්සේ... “ටිකිරි මෙන්න ඔයා ඉල්ලපු බිස්කට් එක...” කියලා දුන්නා. ටිකිරි දැක්කා එයාගේ අතේ ටොපි මුලක් තියෙනවා. “කවිදු ඔයා ටොපිත් ගෙනාවනං දැං ඉතිං මට ටොපිත් දෙන්න...” කිව්වා. කවිදු කිව්වා “ටිකිරි ඉතිං මං ඔයාට ටොපි දෙන්න අවශ්‍ය නෑනේ....? ඔයාට ඔය බිස්කට් පැකට් එකක්ම තියෙන්නේ. එක බිස්කට් එකකට පැකට් එකක්ම දීලා තියෙද්දි මොකටද තව ටොපිත් ඉල්ලන්නේ?”

ඒ ගමන ටිකිරි කිව්වා “ඒ වුනත් කවිදු මං හරි ආසයි ටොපි කන්න.... ඒ හින්දා මටත් ටොපි දෙකක් දෙන්නකෝ” කිව්වා. “බිස්කට් කනවා මදිවට තව ටොපිත් ඉල්ලනවද?” කවිදු ඇහුවා. ටිකිරි කිව්වා “අනේ කවිදු මං ඔයාට මගේ බිස්කට් පැකට් එකෙන් බිස්කටුත් දෙන්නං.... ඔයාට මට ටොපි දෙකක් විතර දෙන්න බැරිද?” ඇහුවා. කවිදු කිව්වා... “ටිකිරි එහෙමනං මට බිස්කට් එකක් මදි. මට බිස්කට් 5 ක් ඕනේ...” කවිදු කිව්වා.
ටිකිරි කිව්වා “කවිදු ටොපි දෙකකට බිස්කට් 5 ක් දෙන්නෙ මොකටද?”. ඒ ගමන කවිදු කියනවා  “ටිකිරි මං ඔයාට ටොපි දෙකක්ම දුන්නනේ. ටොපිය බිස්කට් එකට වඩා කොච්චර රහද?”.  “ඒ වුනත් කවිදු ටොපිය බිස්කට් එකට වඩා ලොකු නෑනේ...? ටිකිරි කිව්වා.

මෙතන හෙන වාදයක් ගියා. කවිදු කිව්වා “අනේ ටිකිරි මට බිස්කට් 5 ක් දෙන්න” කියලා. ඒ ගමන ටිකිරි කිව්වා “හරි දෙන්නං.. හැබැයි ඔයා මගේ බිස්කට් එක කෑවට සොරි කියන්න ඕනෙ” කියලා. කවිදු කිව්වා” ටිකිරි අයිම් සොරි.... මං ආයේ ඔය වගේ නරක වැඩ කරන්නෙ නෑ.” කියලා.

ඔය වාදේ එයාලගේ ලොකු නැන්දා අහගෙන හිටියා. ලොකු නැන්දා කිව්වා. “කවිදු..? ටිකිරි..? මොකද ඔය දෙන්නගේ වාදේ? ... ආයෙ එහෙනං කවිදු ඔයා ටිකිරිගේ දේවල් කන්න එපා.. ටිකිරි ඔයත් මීට පස්සේ එක බිස්කට් එකකට පැකට් ගනං ඉල්ලන්න එපා.... ඔයාලා මේක හොදට අහගන්න.... කවිදු ආයෙ එහෙම ඔය දෙන්නා රන්ඩු වෙන්න එපා....  ඔය දෙන්නම වැරදියි.... මං මේක ලොකු බාප්පටත් කියනවා.... ලොකු බාප්පා ඔයාලා ගැන හොදට බලාගනී....” කිව්වා.

කවිදු යි ටිකිරියි හොදටම බය වුනා. ටිකිරි කිව්වා “කවිදු මට සමාවෙන්න... මං ආයෙ එහෙම කරන්නෑ. ඒ වුනාට ඔයා අර බිස්කට් එක කාපු එකනං වැරදියි...” කියලා. ලොකු නැන්දා කිව්වා හරි හරි ඒක දැන් ඔයාලා අමතක කරන්නකෝ. දැන් ටිකිරි ගිහින් ඇග හෝදගන්න.. දැන් රෑවෙලත් එක්ක. ඊට පස්සෙ කවිදුත් ඇග හෝදගන්න” කියලා.

දෙන්නම කෑමත් කාලා නිදාගන්න ගියා. නිදාගද්දි ටිකිරි ඉන්නෙ අයිනෙම. කවිදු ඉන්නේ මැද්දේ. පස්සේ ටිකිරි කිව්වා. “කවිදු එක අසාදාරණයි.... ඔයා හැමදාම මැද්දෙනේ....? මම අයිනේ.... හෙට ඉදන් ඔයා අර අයිනේ ඉන්න. මං මේ අයිනේ ඉන්නං...” කියලා. ඉස්සෙල්ලා සොරි කිව්වට ටිකිරිගේ තරහා තාම තියෙන හින්දයි එහෙම කිව්වේ.  ඊට පස්සේ දෙන්නටම නින්ද ගියා.


මතු සම්බන්ධයි.......

Friday, November 10, 2017

4. ටීවී එකට රණ්ඩුවක්....

ඔන්න දවසක් රෑ වුනා. ටිකිරි ගිහින් නාගෙන ආවා. කවිදුත් නාගෙන ආවා. ඇවිත් දෙන්නම කෑම අරං ටීවී එක ළගට ගියා. ගිහින් දෙන්නම එක පුටුවේ ඉඳගත්තා. දැන් දෙන්නම කසාද බැඳලනේ. ඒක හින්දා එක පුටුවේ ඉඳගන්න එපැයි. 

ඊට පස්සේ ටිකිරි රිමෝට් එක ගත්තා. කවිඳු කිව්වා, 
‘අනේ ටිකිරි... මට ඕනෙ එක බලන්න ඕනේ....’. 
එතකොට ටිකිරි කිව්වා, 
‘මට ඕනෙ එකයි බලන්න ඕනේ’ කියලා. 
‘මට ප්‍රවෘත්ති බලන්න ඕනේ....’ කවිඳු කිව්වා. එතකොට ටිකිරි කිව්වා 
‘ ඔයා නෙමේනේ ඉස්සෙල්ලා රිමෝට් එක ගත්තේ...’. ඔහොම දෙන්නා අතරේ රණ්ඩුවක් ගියා. ඊට පස්සේ ටිකිරි පැහැසරා දැම්මා. එතකොට කවිදු රිමෝට් එක උදුරලා ගත්තා. ටිකිරි කිව්වා, 
‘මේ.. කවිඳු... මගේ පැහැසරා එකේ නං ගොඩක් දේවල් යනවා. ඔයාගේ ඔය ප්‍රවෘත්ති එකේ මොනාද? කබරයිනේ පෙන්නන්නේ... මගේ පැහැසරා එකේ නං සතුටු දේවල් යන්නේ.. ඒවා බැලුවම හිනාත් යනවා... ඔයාගේ එකේ මොනාද? ඔය එක එක රටවල් ඒවා මේවා බලනවා... වැඩක් නෑ කවිඳු ඕවා..’ කියලා. 
ඊට පස්සේ කවිඳු කිව්වා ‘අනේ ටිකිරි... ඔයාගේ ඒවා මොනවද? මගේ එකේ රටවල් වල වෙන ඒවා සේරම තියෙනවා... මොනාද ඔයාගෙ එකේ තියෙන්නේ? වැඩක් නෑ... ඔය නැවේ ගේන ඒවා අත්අඩංගුවට අරං.... ඒවා ඔයාගේ එකේ තියෙනවද? පිස්සු කතා....’

දැන් දෙන්නා රණ්ඩුවක්. ඊට පස්සේ ටිකිරි රිමෝට් එක උදුරලා අරං ආයෙ පැහැසරා දැම්මා. කවිඳු ආයෙ රිමෝට් එක උදුරලා අරං ආයෙ ප්‍රවෘත්ති දැම්මා. දැං කවිඳුගේ ෆ්පෑෂ්බෑක් පටන් ගන්නත් ළඟයි. ප්‍රවෘත්තිත් ඉවර වෙන්න ළඟයි. පැහැසරාත් ඉවර වෙන්න ළඟයි. දැන් මේ ආදරේ පටන් ගන්න යන්නේ. 

එතකොටම ටිකිරි රිමෝට් එක ආපහු උදුරලා අරං පැහැසරා දැම්මට ඒක ඉවර වෙලා. එතකොට කවිඳු ආපහු රිමෝට් එක උදුරලා අරං ප්‍රවෘත්ති දැම්මම ඒකත් ඉවර වෙලා.  යන්නේ ෆ්ලෑෂ්බෑක්. ටිකිරි කිව්වා 
‘අනේ ඔය ෆ්ලෑෂ්බෑක් එක මොකටද? ඔය ගහගන්න ඒවා...? බලන්නකෝ මගේ මේ ආදරෙයි එකේ... ෂෝක් ඒවා යන්නේ ඈ? මගේ මේ ආදරේ එකේ රමන් කියලා එක්කෙනෙකුත් ඉන්නවා.... ඔයාගේ එකේ කට්ටියට නමුත් නෑ....’ කියලා. 
දැන් ඉතින් දෙන්නා රණ්ඩුව. ටිකිරි තව කතාවක් බලනවා. මොකද්ද අර කූඹියගේ එක? කූඹියෝ.. එතකොට ටිකිරි කතා තුනක් බලනවා.  කවිඳුත් කතා තුනක් බලනවා. 

ඔහොම දෙන්නා රණ්ඩු වෙලා කවිඳු ටිකිරිට ගැහුවා. ටිකිරි කවිඳුටත් ගැහුවා. ටිකිරිට ඉතිං රිදෙනවනේ.  ඕක එයාලගේ ලොකු මහප්පට ඇහුනා. ලොකු මහප්පා ටක් ගාලා ඇවිල්ලා 
‘මොකද ඔය දෙන්නා ටීවී එකට රණ්ඩු වෙන්නේ?
‘අනේ මේ බලන්නකෝ මෙයා මං බලන එකට......’
‘නෑ ලොකු මහප්පේ.. මෙයා මට බලන්න දෙන්නෑ....’
ටිකිරියි කවිඳුයි කියනවා. ලොකු මහප්පා කිව්වා ‘හරි හරි... ඔහොම රණ්ඩු වෙන්න එපා... දැන් ඔය දෙන්නම එකක් බලන්න... ටීවී දෙකක් නෑනේ.. එකයිනේ තියෙන්නේ... එකක් බලන්න..’
‘එහෙනං මොකද්ද බලන්නේ?’ දෙන්නා ඇහුවා.
‘මුලින්ම පැහැසරා බලන්න.. ඊළඟට කඩිසර කූඹියෝ බලන්න.... ඊට පස්සේ මේ ආදරේ බලන්න....’

කවිඳුටත් ඒක පිළිගන්න වුනා. ඒ වුනාට ඊට පස්සෙත් දෙන්නා රණ්ඩු වුනා. කවිඳු ටිකිරිව කෙනිත්තුවා. ඒ වුනාට ටිකිරි කවිඳුව කෙනිත්තුවේ නෑ.
ඒ ගමන ටිකිරි කවිඳුලගේ ලොකු නැන්දට කතාකලා. ලොකු නැන්දා ටක් ගාලා දුවගෙන ආවා. 
‘ඇයි ටිකිරි මට කතාකලේ?’
‘මෙන්න මේ කවිඳු මාව කෙනිත්තුවා’
එතකොට කවිඳු කිව්වා ‘අනේ මං කෙනිත්තුවේ නෑ.. මේ ටිකිරි තමයි කෙනිත්තුවේ...’
ඒ ගමන ලොකු නැන්දා කිව්වා ‘හරි ඔය දෙන්නා රණ්ඩු වෙලා දැන් උදේ වෙන්නත් ළඟයි..’

බැලින්නං පැහැසරායි කූඹියෝයි ඔක්කොමත් ඉවර වෙලා උදේත් වෙලා. දැන් කවිඳුටයි ටිකිරිටයි හොඳටම නිදිමතේ. ඒ ගමන කවිඳුයි ටිකිරියි ඇඳට ගියා නිදියගන්න. එතකොට කවිඳු කියනවා.... 
‘අනේ ලොකුනැන්දේ  මට නං බෑ අද වැඩට යන්න... මං හොඳටම නිදිමතේ ඉන්නේ.’
ලොකු නැන්දා කිව්වා.. ‘ හරියන්නෑ කවිඳු... ඔයා විනාඩි දෙකක් පරක්කු වෙලා හරි යන්න ඕනේ... නැත්තං සල්ලි කොහෙන්ද?’ කියලා. 

දැන් කවිඳුට පැය බාගයක් නිදාගන්න පුළුවන් වුනා. ඊට පස්සේ නැගිට්ටා. ඔෆිස් යන්නත් එපැයි? කවිඳු බඩගින්නේ. ටිකිරි තාමත් හොඳටම නිදි. ඊට පස්සෙ කවිඳු ලොකු නැන්දගෙන් කන්න දෙයක් ඉල්ලුවා.
‘අන්න අතන මේ... බිස්කට් දෙකක් ඇති. ටිකිරිටත් එකක් තියලා කන්න’
ලොකු නැන්දා කිව්වා. ටිකිරි නිදි නිසා කවිඳු ලොකු නැන්දටත් හොරෙන් බිස්කට් දෙකම කාලා වැඩට ගියා. ඒ ගිහින් හවස ආවා. ඒ එද්දි ටිකිරි ඇහැරිලා බිස්කට් එක හොයනවා. 

ඒ ගමන කවිඳු ‘අනේ ටිකිරී.... මං ඔයාගේ බිස්කට් එකත් කෑවා... අනේ තරහා ගන්න එපා ටිකිරී...’ කිව්වා. එතකොට ටිකිරි කිව්වා ‘කවිඳු... මට සල්ලි දෙන්න ගිහින් බිස්කට් එකක් ගේන්න...’ කියලා. ඒ බිස්කට් එක සීයේ මාරි එකක්. කවිඳු ගාව සීයක් තිබ්බේ නෑ. ‘අනේ ටිකිරි මං ගාවනං විස්සක් තියෙනවා....’ දැං ටිකිරිට හෙන තරහා.....



Monday, November 6, 2017

3. අළුත් ගෙදර විස්තර

ඔන්න පහුවදාට එලිවුනා. ටිකිරි උදේ පාන්දරම නැගිට්ටා. 
ටිකිරි කවිඳුටත් කතා කලා. 
කවිඳු... කවිඳු....” 
කවිඳු තාම නිදි. ඒ ගමන ටිකිරි කුස්සියට ගිහින් කවිඳුට තේ එකක් හදාගෙන ආවා. ටිකිරි කවිදුගේ ඇගට වතුර ටිකක් ඉස්සා. ඒ ගමන කවිඳු නැගිට්ටා. තේ එකට සීනි වැඩියි. ඒ ගමන කවිදු ටිකිරී... මේකට සීනි වැඩියි.. මට අළුත් එකක් හදාගෙන එන්නකියලා අණ දුන්නා. ඒ ගමන ටිකිරි අනේ මේ.. කවිදු කට වහගෙන ඉන්නවද... මට බෑ ඔයහැටි තේ හදන්නකියලා කිව්වා. ඒ වුනාට කවිදු පව් හින්දා ආයෙ කුස්සියට ගිහින් තව තේකක් හැදුවා. මොනව උනත් ටිකිරි කවිඳුට ආදරෙයි. හදලා කවිදුට ගිහින් දුන්නා. කවිඳු ඒක බිව්වා. ඒ තේ එක නං හොඳයි. කවිඳු කිව්වා ටිකිරි මේ කෝප්පෙ ගිහින් තියනවද.. මට පරක්කු වෙනවාකිව්වා. ටිකිරි ඇයි කවිඳු ඔයාට ඔච්චර පරක්කු වෙන්නෙකියලා ඇහුවා. කවිඳු කිව්වා අනේ ටිකිරි... පේන්නැද්ද.. ඔරලෝසුව දිහා බලන්න... මට වැඩට යන්න පරක්කු වෙනවාකියලා.

කවිඳු ගිහින් මූණ හෝදගෙන ගෙට ආවා. ඇඟ පිහගෙන ඇඳුම් දාගත්තා. කවිඳු දැන් ලෑස්ති වෙලා ඉවරයි. කවිඳු පොත් එකත් ලෑස්ති කරගත්තා. කවිඳු සපත්තු දෙකත් දාගෙන ගෙදරින් එලියට ගියා. කවිඳු ස්කූටියට නැගලා ස්ටාර්ට් කරගත්තා. ටිකිරිට බායි කියලා කවිඳු ගියා. ටිකිරිත් කවිඳුට බායි කිව්වා.

කවිඳු ගියාට පස්සේ ගෙදර අය ටිකිරිට එක එක වැඩ කිව්වා. අනේ ටිකිරි අතෙන්ට ගිහින් කරපිංචා අතු තුනක් දෙකක් කඩාගෙන එන්න....තව එක්කෙනකේ කිව්වා අනේ ටිකිරි මට රම්පේ අත්තක් කඩාගෙන එන්නකියලා. අනේ ටිකිරි මේ වළඳ හෝදං එන්න....දැන් ටිකිරිට වැඩ කරලා මහන්සියි. ටිකිරි කිව්වා අනේ මේ මට නං දැං වැඩකරන්න බෑ.. මං යනවා ටිකක් නිදාගන්නකියලා. ගෙදර අය කිව්වා හා හා ඔයා නිදාගන්න ඔයාට මහන්සිනංකියලා.

ඔන්න දැං ඉර බැහැගෙන යනවා. එතකොට කවිඳු ආවා. කවිඳු කුස්සියට ගිහින් ටිකිරිව හෙව්වා. ගෙදර කට්ටිය කිව්වා කවිඳු.. කවිඳු.... ටිකිරි නිදිකියලා. කවිඳු කාමරේට ගියා. ටිකිරි හොදටම ගොරව ගොරවා නිදි. කවිඳු කාමරෙට ගිහින් ටිකිරී....කියලා කතාකලා. 

ටිකිරි උඩ ගිහින් බිම වැටිලා ඇහැරුනා. කවිඳු ඇහුවා ටිකිරි මොකද ඔයා මේ දහවලේ නිදි?” කියලා. ටිකිරි කිව්වා... අනේ කවිඳු මට මහන්සියක් ආවා . ඒකයි මං නිදාගත්තේකියලා. ඊට පස්සේ කවිඳු කිව්වා. හා හා.... අපරාදේ මං ඔයාගේ නින්දට බාධාවක් දුන්නේකියලා. ටිකිරි කිව්වා.... ඒකට කමක් නෑ කවිඳු.. මගේ මහන්සිය නැතිවුනා. මොකද්ද මගෙන් කෙරෙන්න ඕනේ?” කියලා. කවිඳු කිව්වා අනේ ටිකිරි මගේ බෑග් එක ස්කූටියේ තියෙනවා. ඒක ගේන්නකියලා. ටිකිරි බෑග් එක ගෙනාවා.


ඊට පස්සේ ටිකිරි ඔයා ගියාට පස්සේ මට වැඩ ගොඩාක් තිබ්බා කවිඳු...කියලා සේරම විස්තරේ කිව්වා. ටිකිරි කිව්වා.... මට එක්කෙනෙක් එක වැඩක් කිව්වා.... මං ඒකත් කලා.... එතකොට තව කෙනෙක් තව වැඩක් කිව්වා.... මං ඒකත් කලා.... එතකොට තව වැඩක් කිව්වා...කියලා. කවිදුට ඒක හිතට දැනිලා තරහා ගියා. කවිදු කිව්වා ඉන්න මං ගෙදර අයට කියන්නං ඔයාට වැඩ කියන්න එපා කියලා..කිව්වා. 

ඔන්න දැන් කවිදුට හොදටම පිපිරෙන තරහා ගිහින්. කුස්සියට ගිහින් කට්ටියටම බැන්නා. ඇයි මගේ බිරිදට ඔයාලා ඔහොම වැඩ කියන්නේ?.. මගේ බිරිදට ආයෙ වැඩ කියන්න එපා....කිව්වා. කුස්සියේ අය කිව්වා. අනේ මේ කවිදු... ඔයාගේ බිරිඳ කියලා අපි මොනවා කරන්නද? ගෙදර වැඩ කට්ටියම කරන්න ඕනෙනේකියලා. ඒක ටිකිරිට ඇහිලා ටිකිරි කිව්වා.... කමක් නෑ කවිඳු. නෑදෑයෝ කියන දේත් ඇත්ත. අපි හැමෝම ගෙදර වැඩ කරන්න ඕනෙනේ...කියලා. කවිදු කිව්වා හා.. හා.. ටිකිරි.... ඔයා එහෙම කියනවනං මං පිලිගන්නංකියලා.

ඊළඟ කොටසට....

Sunday, November 5, 2017

2. ටිකිරිගේ අළුත් ගෙදර

ටිකිරි ගේ ඇතුලට ගිහින් ටිකක් වටපිට බැලුවා. ලස්සනට ගේ සරසලා තියෙනවා. ටිකිරිට හරි පුදුමයි. ටිකිරිට වතුර තිබහක් ආවා. ටිකිරි වටපිට බැලුවා වතුර බොන්න තැනක් තියෙනවද කියලා. එයා දැක්කා මේසයක් උඩ වතුර ෆිල්ටරයක් තියෙනවා. ටිකිරි කාටත් හොරෙන් ගිහින් වතුර ටිකක් බිව්වා. ඒ වුනාට ටිකිරිගේ වතුර තිබහා ගියේ නෑ. ටිකිරි වතුර කෝප්ප දෙකක්ම බිව්වා.

ටිකිරි වතුර බීලා එලියට ගියා. ටිකිරි ගෙයි පිටිපස්සට ගිහින් එහේ මිරිස් ගලක් තියෙනවද? එහේ වංගෙඩියක් තියෙනවද? ටිකිරි හෙව්වා. ටිකිරි දැක්කා එක මේසයක් යට හිරමණයක් තියෙනවා. දැං ගෙදර කට්ටිය බරටම වැඩ. උයනවා.පිහනවා. සේරම කරනවා. ඒ ගමන ටිකිරි කවිදුට අඩගැහුවා. “කවිඳු... කවිඳු මෙහෙ එන්ඩ....” කියලා. කවිඳුට ඒක ඇහුනේ නෑ. ටිකිරි ඒගමන හැමතැනම ඇවිදලා කවිඳුව හෙව්වා. ටිකිරි කොච්චර ඇවිද්දත් කවිඳුව හොයාගන්න බැරිවුනා. කවිඳු හිටියේ ටොයිලට් එකේ. කට්ටියගේ සද්ද හින්දා කවිඳුට ඇහිලා නෑ. ටිකිරි ගිහින් ටිකක් ටොයිලට් එක දිහා බලද්දි කවිඳු අනිත් දොරෙන් එනවා. කවිඳු දැක්කා ටිකිරිව. කවිඳු ටිකිරි... මං මෙහේ කියලාකතාකලා. ටිකිරි කවිඳු ගාවට ගියා. ටිකිරි කවිඳුගෙන් ඇහුවා අනේ කවිඳු මොනවද ඔයාලගේ ගෙදර කට්ටිය කරන්නේ? කියලා. කවිඳු කිව්වා අද අපේ මගුල් ගෙදර හින්දා අද බරටම වැඩ...”

ටිකිරි බලද්දි එක්කෙනෙක් පොල් ගානවා... අනික් කෙනෙක් වංගෙඩියේ කොටනවා. තව එක්කෙනෙක් මිරිස් කපනවා. අනික් එක්කෙනා පොල් හිදිනවා. තව එක්කෙනෙක් බතල කපනවා. තව කෙනෙක් පොලොස් උයනවා. තව එක්කෙනෙක් කට්ලට් හදනවා.

ටිකිරි උයන පිහන වැඩ බලලා කවිඳුත් එක්ක ඉඩම බලන්න ගියා. ටිකිරි දැක්කා මඥ්ඥොක්කා ගස් ගොඩාක් හිටෝලා තියෙනවා. කෙහෙල් පඳුරුත් ගොඩාක් තියෙනවා. ටිකිරි දැක්කා එක කැලෑ ගහක කුරුළු කූඩුවක් තියෙනවා. ටිකිරිට හරිම සතුටුයි. ටිකිරි තව ටිකක් වටපිට බැලුවා. ඉඩමේ ගොටුකොල පාත්තියකුත් තියෙනවා. ටිකිරි අමුතු ගහක් දැකලා කවිඳුගෙන් ඇහුවා ඒ ගහ මොකද්ද කියලා. කවිඳු කිව්වා ඒක මැල්ල කොල ගහක් කියලා. “ඒක හරිම ලස්සන ගහක් නේද කවිඳු?” කියලා ටිකිරි ඒ ගහ ලගට ගියා. ඒ යන ගමන් ටිකිරිව වැලක පැටලිලා වැටුනා. වැටිලා දණිස්ස තුවාල වුනා.

කවිඳු හොදටම බය වුනා. කවිඳු ටක් ගාලා දුවලා ගිහින් කෝප්පෙකට වතුර ටිකක් ටැප් එකෙන් ගෙනත් ටිකිරිගේ සාරිය ටිකක් උස්සලා දණිස්සට වතුර දැම්මා. ඊටපස්සෙ කවිඳු ටිකිරිව බොහොම අමාරුවෙන් උස්සගෙන ගිහින් ගේ ඇතුලේ ඇදට දැම්මා. 

ටිකිරි හයියෙන් ඇඩුවා. ගෙදර කට්ටිය දුවගෙන ආවා. ටිකිරිට අඩලා අඩලා කැස්සක් ආවා. එතකොට කවිඳුගේ ලොකු මහප්පා ටිකිරිට වතුර ටිකක් ගෙනත් දුන්නා.

ඊට පස්සෙ කවිඳු අම්මගෙන් සල්ලි ඉල්ලගෙන කඩේට ගිහින් වෙළුම්පටියි, ප්ලාස්ටරුයි බෙහෙතුයි ගෙනාවා. කවිඳුගේ චූටි නැන්දා ඩොක්ටර් කෙනෙක්. චූටි නැන්දා තුවාලෙට බේත් දැම්මා. ඊට පස්සෙ කවිඳු කිව්වා ටිකිරි ඔයා ඔහොම්මම ඇඳට වෙලා ඉන්න කියලා. කවිඳුගේ යෝජනාව ටිකිරි පිළිගත්තා.

න්න දැං ටිකිරි හැන්දෑ වෙලා වෙලා නාගන්න ගියා. ටිකිරි නාගෙන ගෙට ආවා. ටිකිරි ඇඟ පිහගෙන ලස්සන දිලිසෙන පාට පාට සාරියක් ඇන්දා. රෑ කවිඳුලගේ ගෙදර ලස්සන පාටියක් තිබ්බා. ඒ පාටියේ එක එක කෑම ජාති තිබ්බා. ලස්සන මල් පොකුරුත් ගහලා තිබ්බා. තට්ටු තට්ටු උස වෙඩින් කේක් එකකුත් තිබ්බා. රවුම් ටේබල් වටේ ලස්සන පුටු තියලා තිබ්බා. ඒ මේස වල ක්‍රීම් සෝඩයි, වයිනුයි, කැම ජාතියි තියලා තිබ්බා. එලියේ ගස් වලට ලස්සන පාට පාට බල්බ් වැල් දාලා තිබ්බා.

ඔන්න දැන් රෑ වුනා. ගෙදරට පාට පාට ඇඳුම් ඇඳගත්තු කට්ටිය 260 ක් ආවා. ටිකිරි හොදටම හැඩවුනා. කොන්ඩෙට මල් ගහලා මාල හයක්ම දැම්මා. කකුලට චූටි ගෙජ්ජි දෙකක්ම දැම්මා. අතට වළලුත් දැම්මා.


ඔන්න දැන් පාටිය පටන් ගත්තා. ටිකිරි මල් පොකුරත් අරං එලියට ආවා. ටිකිරි කොර ගගහා ආවේ. තුවාලේ රිදෙන හින්දා. ඉතිං ලොකු පාටියක් තිබ්බා.

ඊළඟ කොටසට........


1. ටිකිරිගේ මගුල් ගෙදර

ඔන්න එකමත් එක රටක ටිකිරි කියලා ලස්සන ගෑණු ළමයෙක් චූටි ගෙදරක හිටියා. එයා හරි ආසයි හැඩවෙන්න. එයා දවසක් මල් ටිකක් කඩාගෙන ඔළුවට ගහගත්තා. එයාගේ අම්මයි තාත්තයි එයාට තීරණය කලා කසාදයකට.

එයා ඒකට අකමැති වුනා. එයා කිව්වා අම්මේ... තාත්තේ.... මට බෑ කසාද බඳින්න කියලා. ඒ වුනාට අම්මයි තාත්තයි ඒක පිළිගත්තේ නැහැ. එයා හොඳටම අඬන්න පටන් ගත්තා. ඒ වුනාට අම්මයි තාත්තයි මනමාලයෙන් හොයන්න පටන් ගත්තා.

 ඔන්න දවසක් අදීශ කියලා මනමාලයෙක් අම්මටයි තාත්තටයි හමුවුනා. අදීශ කියන්නේ සුදු බෝලයක් වගේ මනමාලයෙක්. අදීශ ඒකට කැමති වුනා. ඒවුනත් ටිකිරි අදීශට කැමති වුනේ නෑ. ටිකිරි කිව්වා අම්මේ... තාත්තේ... මට අදීශව කසාද බඳින්න බෑ... මට ඕන්නං වෙන කොල්ලෙක් හොයලා දෙන්න කියලා.   එකදවසක් අම්මටයි තාත්තටයි කවිදු කියලා තව මනමාලයෙක් හමුවුනා. ටිකිරි හා... මටනං එයාව හොදයි කියලා හොදටම සතුටු වුනා.

 ඔන්න දැන් කසාද බදින දවස ආවා. ටිකිරි ලැජ්ජාවෙන් මිරිකුනා. කොච්චර ලැජ්ජා වුනාද කියනවනං ටිකිරි කෑමවත් කෑවෙ නෑ. දැන් ටිකිරිට හොටම බඩගිනි වුනා. ටිකිරි ඒගමන කාටත් හොරෙන් කෑම ටිකක් කෑවා. ඒ කෑම රසයි. ඒ ගමන ටිකිරි හිතුවා බොරුවට ලැජ්ජා වෙලා වැඩක් නෑ. ඒක නිසා ඕන දෙයක් වෙච්චාවේ කියලා හොදටම කෑම කෑවා. මේක බලං හිටපු නෑදෑයින්ට හරිම පුදුමයි. ලැජ්ජාවෙන් හිටපු ටිකිරි හොදටම කෑම කෑවනේ.

 ඔන්න නැකත වෙලාව ළංවුනා. දැන් ටිකිරි මගුල් පෝරුව උඩට නගින්න යද්දි ටිකිරිට ආයෙ ලැජ්ජා හිතුනා. ඒත් ටිකිරිට මතක්වුනා එයා කෑම කෑව හැටි. ටිකිරි කවිදු දිහා බැලුවෙවත් නෑ. කොහොමහරි පෝරුවේ වැඩ ඉවර වුනා.

දැන් කැන්දං යන වෙලාව ලංවුනා. ටිකිරි කවිදුත් එක්ක බක්කි කරත්තෙට නැග්ගා. ඒ කරත්තෙ එලෙව්වේ සෝමසිංහ කියලා සීයා කෙනෙක්. ඒ කරත්තේ ලස්සනට හැඩ කරලා තිබුණා. කරත්තේ හරකටත් ලස්සන ඇදුමක් දාලා තිබුණා. ටිකිරි එච්චර ලස්සන කරත්තයක් දැකලම නෑ. ඒක නිසා ටිකිරිට පුදුමයි. ටිකිරි බක්කි කරත්තෙදි මනමාලයා දිහා ටිකක් බැලුවා. මනමාලයත් ගොඩාක් ලස්සන ඇදුමක් ඇදගෙන හිටියා. ටිකිරි මීට කලින් මගුල් ගෙල්වල ගිහින් තිබ්බට එච්චර ලස්සන මනමාලයෙක් දැකලම නෑ. ටිකිරි මනමාලයා දිහා ටිකක් බලලා ගස්සලා අහක බලා ගත්තා. ඔන්න කරත්තේ කවිදුලගේ ගෙදරට ආවා. ටිකිරි ලැජ්ජාවෙන් තමයි කරත්තෙන් බැස්සේ. ටිකිරි බිම බලාගෙනම කවිදුලගේ ගේ ඇතුලට ගියා.....

(ඊලඟ කොටසට......)